Tuesday, May 3, 2011

ඊයේ අද සහ හෙට

ඊයේ...,,


සිතුවිලි නිහඬයි හද ගැබ සසලයි
ආලය වැඩිවී අද ඔබ නිසලයි
ලෝකය කුරිරුයි යන මඟ කටුකයි
ගල් පර්වත මැද බාධක මැඩලයි


අද...,,,




කාලෙ ගෙවී යයි සෝ දුක අඩු වෙයි
සිතුවිලි දහසක් මා හද ලතවයි
ඈ යලි මුමුණයි මා හා දැවටෙයි
කරදර මදකට මා හැර දා යයි

හෙට...,



හැකිවේවා අපහට තුටින් සිටින්නට
කරදර බාධක හොඳින් බිඳින්නට
ආදර මල්දමෙ සොඳුර විඳින්නට
ජීවිත ගමනම එක්ව සිටින්නට




Monday, April 25, 2011

දර කපන්නාගේ කථාව අද විදිහට

ඔන්න එකෝමත් එක කාලෙක ජීවත් උනාලු සොෆ්ට්වෙයාර් ඉංජිනේරුවෙක්. හැබැයි පොර තාමත් සොෆ්ට්වෙයාර් හදන්න පාවිච්චි කරන්නේ තමන්ගේ පරන පෙන්ටියම් පරිගණකයමලු. ඉතින් මෙයා එදා වේල හරි හම්බ කර ගන්නේ ගඟ අයිනේ තියෙන බංකුවටක් උඩ තමන්ගේ කොම්පුටරේ තියාගෙන, රෑ දවල් නැතුව හදන සොෆ්ට්වෙයාර් පොඩ්ඩක් ඉරිදා වෙළඳ පොළේ විකිනීමෙන් තමා.

එක දවසක් මෙහෙම බංකුවේ උඩ තියන් ඉන්නකොට කොම්පුටර් එක ගඟට වැටුනලු. දැන් ඉතින් කර කියා ගන්න දෙයක් නෑලු. හරි හම්බ කරන් කාපු එක දැන් ගඟේ. පොඩ්ඩක් හිත හිතා ඉන්න කොට පොරගේ ටිකිරි මොළේට පොඩි කාලේ අහපු කතාවක් මතක් උනාලු. අර පංච තන්ත්‍රය කියන පොතේ තියෙන දර කපන්නාගේ කතාව තමයි ඉතින්. දැන් ඉතින් දෙවියන්ට දුක කියන්න උනාලු. 

  ඔන්න ඉතින් දෙවියන්ටත් හිතුනා පොඩ්ඩක් අගේ වැඩි කරගන්න. මාසයක් විතර පරක්කු වෙලා අර මනුස්සයා ඉස්සරහා පෙනී හිටියා. වෙනදා වගේම අවංකකම චෙක් කරන්නත් එක්ක මුලින්ම පොරට පෙන්නුවලු ගිනිපෙට්ටියක් වගේ එකක්.
"මේකද ඔයාගේ නැතුවුන එක?"

අප්පා මිනිහට දැන් මල. දෙවියෝ කොම්පුටර් ගැන දන්නේ නෑ කියලා හිතලා
"නෑ නෑ මේක නෙමෙයි දෙවියනි"

ඊට පස්සේ  සාක්කුවේ ගෙනයා හැකි කැල්කියුලේටරයක් ගෙනල්ලා නැවත වතාවක්
"මේකද ඔයාගේ නැතිවුන එක?"

කර කියා ගන්න දෙයක් නැතුව "නෑ නෑ මේකත් නෙමයි මගේ එක"

දැන් අරූට කෙසේවෙතත් දැවියන්ට මාරම හැපී. අන්තිමට තමන්ගේ පරන කොම්පුටර් එකම ගෙනල්ලා ඉස්සෙල්ලා විදිහට ඇහුවා.

දැන් ඉතින් මොනවා කරන්නද මේකම ගමු කියලා,
"ඔව් ඔව් මේක මගේ නැතිවුන කොම්පියුටරය තමා" 
කියලා ඒකම ඉල්ලුවා. දැන් දෙවියන්ටත් අවංක කම ගැන සතුටුයි. 

"මම නුඹට මේ වස්තු තුනම තෑගි දෙනවා. ඊට කලින් නුඹගෙන් අදහස් දැන ගන්න කැමතියි"

"අයියෝ දෙවියනි ඔයා දන්නේ නැත්ද කතාවේ හැටියට ඔබ වහන්සේ මට ගෙනත් දෙන්න ඕනේ මුලින්ම වටිනාම ජාති දෙකක්. ඒත් ඔබ වහන්සේ ගෙනාවේ මොනවාද?" 

මේක අහපු ගමන් දෙවියන්ට හොඳටම තරහා ගියා.
"එම්බා මෝඩ ගෙම්බා, මම තොට ඉස්සෙල්ලා ගෙනත් දුන්නේ IBM කොම්පැණියේ අලුත්ම Trillennium සහ Billennium කියන කොම්පියුටර් දෙක. උඹේ මෝඩ කම නිසා දැම් ම උඹේ කොම්පුටරෙත් දෙන්නේ නෑ"

දැන් මේකෙන් ගන්න පුලුවන් ආදර්ශ බලමු.
  1. ඔයා අලුත් තාක්ෂණය ගැන දන්නේ නැත්නම් හොඳම දේ අනික් එක්කෙනාට තමා දන්නේ නැති බව හැඟවෙන්න කට වහගෙන ඉන්න එකයි. එහෙම නැතුව දන්නේ නැති දේවල් කියන්න ගිහින් මෝඩ කම ප්‍රදර්ශනය කිරීම නෙමෙයි.
  2. ලද දෙයින් සතුටු වෙන්න බලන්න. එහෙම උනා නම් අර කම්පියුටර් තුනම අර මනුස්සායාගේ අතේ නේද? 
  3. අලුතින් එන එන දේවල් ගැන ඇලුම් කරන්න එපා. තමන්ගේ වැඩේ කර ගන්න පුලුවන් නම් Pentium I පරිගණකයක් උනත් ඇති.











Sunday, April 24, 2011

ඇම් ඇසුත් දියුණු උනා එහෙනම්

    ඔන්න එහෙනම් යාලුවනේ මමත් සිංහල බ්ලොග් කෙරුවාවට ඇතුලු වුනා. කාලෙක ඉඳන් ආපු අයිඩියාවක් අද ක්‍රියාත්මක කලා ඉතින්.  

  මම මේකෙන් ඉතින් කරන්න බලාපොරොත්තු වෙන්නේ මට අහුවෙන ෆන් සිදුවීම්, වගේම හරවත් දේවල්, ජීවිතයට ගන්න පුලුවන් දේවල්, ඔයාලට තේරෙන භාෂාවකින් කියන්න හදන එක තමා. ඉතින් මේක මගේ පටන් ගැන්මනේ. මම ඉතින් මහන්සියෙන් දාන ලිපි වලට ඔයාලගේ ප්‍රතිචාර බලාපොරොත්තු වෙනවා. ගල්, මුල්, යෝජනා චෝදනා මේ ඕනම දෙයක් භාර ගන්නවා. මම අලුත් හින්දා සුලු සුලු අඩුපාඩු එන්න පුලුවන්. ඒවා හදා ගන්න ඔයාලගේ උදව් බලාපොරොත්තු වෙනවා.